ලන්තෑරුම නිවිලා













ලන්තෑරුම නිවිලා
කලක්ම දැල් වී
තෙල් අහවර වී
ලන්තෑරුම නිවිලා

අමාවකේ බිම් කරුවල එද්දී
වැහි බීරුම දස අතම වෙලාගෙන
මොරගෙඩි තරමට සට සට හඬ දී
කඩා වැටෙයි ගේ වටේ කඳුළු කැට

ගෙයි මැද සාලේ බටහිර පැත්තෙන්
දැල්වෙන මුත් උස පොල්තෙල් පහනක්
සුළෙ`ග් තුන් කුදු ගැහී වැනෙනු මිස
එළියක් දුන්නද මේ දින දෙක තුන

අම්ම ගෙ කාමරයේ ඇති පාළුව
යවුල් අනී මගෙ මනෝකාය වෙත
යහනේ මෙට්ටය දෙකට නමා ඇත
යළි කවදාවත් දිග නොහැරෙන්නට

මිදුලේ කෙළවර ලොකු සුදු කොඩියක්
වැහි ක`දුළේ තෙමි තෙමී ගැහෙන හැටි
ඉ`දහිට පුපුරන අකුණක එළියෙන්
දුටුවෙමි සංතාපය වැගිරෙද්දී
ලන්තෑරුම නිවිලා......

අවිස්සාවේල්ලේ දයාරත්න දැරණියගල

No comments:

Post a Comment